නිදුක් බලන කට්ටිය

2012/05/16

කුශල චේතනාව පමණක් සෑහේ ද?

//චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නොකොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?
මෙය චේතනාව නොහැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක්ද? යන බව තේරුම් ගැනීම අපහසුය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍රශ්නය නඟන්නේ ඒ අය ය.
'චේතනාවය'යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදනා සිත්වල ඇති 'ක්‍රියා සාධක බලවේගය'ට ය.
පින් කැමැත්තෙක් දන් දීම් වශයෙන් අහර බඳුනක් ගෙන භික්ෂුවකගේ අතෙහි තබයි. පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුවගේ අතට පැමිණවීම දන් දීම ය. ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයාගේ අතින් සිදු වූ සැටි සොයා බැලුවාම චේතනාව සොයා ගත හැකි ය.
දායකයාගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත්, එය තද කර ගත්තේත්, ඔසවා ගත්තේත්, භික්ෂුව දෙසට යැවූවේත්, දායකයා ගේ ශරීරය තුළ ඇති වූ බලවේගයකිනි. එබඳු බලවේගයක් අභ්‍යන්තරයේ ඇති නොවී නම්, දායකයා ගේ අතේ නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නොයෙදෙන්නේ ය. ඒ ක්‍රියා සිදු වන පරිදි දායකයා ගේ  අත් එහා මෙහා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගයකිනි. ශරීරය සෙලවීම් වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත් වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියා ය.

මේ චිත්තජ වායෝ ධාතුව පහළ නොවී නම් අර ආහාර බඳුන භික්ෂුව අතට නො යන්නේ ය. ශරීරය සොලවන ඒ වායෝ ධාතුව ඉබේම ඇති වන්නක් නොව, එයත් යම් කිසි බලවේගයකින් ඇති කරන්නකි. ඒ බලවේගය නම් සිත හා එක්ව ඇති වන දාන වස්තුව භික්ෂූන් වහන්සේ  අතට පැමිණවීමේ උත්සාහය ය. චේතනාව ය යි කියනුයේ ඒ උත්සාහයට ය. දීම පිළිබඳ උත්සාහයක් නිසා  එම  උත්සාහයට දාන චේතනාව ය යි කියනු ලැබේ.  දන්දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය. //උපුටනය රේරුකාණේ චන්ද්‍රවිමන මාහිමියන්ගේ "ධර්ම විනිශ්චය" පුස්තකයෙනි..

මගේ අදහස..
යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ පිළිබඳ අදහසක් ඇති විය යුතු බව ඇත්තකි.. එහෙත් ක්‍රියා ව ඉටු වන තුරු එම ක්‍රියාව විවිධ අවස්ථා පසු කරයි.. මේ අනුව කුශල අදහසක් ඉපැදීම යහපත් ය. එය කුශල ක්‍රියාව දක්වා සාර්ථක ව ගෙන යාමේ බලය චේතනාව ලෙස මෙහි විස්තර වේ..
අදාල චේතනාවේ ප්‍රභලත්වය නැත්නම් ශක්තිමත් බව අනුව එම චේතනාවට අදාල ක්‍රියාව ක්‍රියාත්මක වීම සිදු වනු ඇත. ක්‍රියාත්මක නොවන අදහසක් අල්ප ඵල කර්මයක් වනු ඇතිය යන්න මගේ අදහසයි..

2012/05/03

බුදුන් පුදන චෛත්‍ය තුන

රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමිපාණන් විසින් රචිත ධර්ම විනිශ්චය පොතෙන් පහත ඡේදය උපුටා ගතිමි..


ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේද" යි විචාළහ. "ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ඒ චෛත්‍ය කවරේද" යි විචාළ කල්හි; "ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේද"යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, "ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකිය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට  ශාරීරික, පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය" යි වදාළ සේක.   

================================================================
අදහස සරලව
================================================================
බුදුන් නැති කලෙක මිනිසුන්ට පූජා පැවැත්වීම පිණිස දෙවුරම් වෙහෙර ඇසුරෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි දැයි බුදුන් වහන්සේ ගෙන් දැන ගනු මැනවැයි අනේපිඬු සිටාණන් කළ ආනන්ද හිමියන් වෙතින් කළ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ වෙත එළැඹි ආනන්ද හිමියන් හා බුදුන් වහන්සේ අතර වූ දෙබසකි මේ..
ආනන්ද හිමියන් : ස්වාමීනි චෛත්‍යයන් කීයක් තියෙනවාද?බුදු හිමියන් : චෛත්‍යයන් තුනකි.

ආනන්ද හිමියන් :  ඒ මොනවාද?
බුදු හිමියන් : ශාරීරික, පාරිභෝගික, උද්දේසික
ආනන්ද හිමියන් :  ඔබ වහන්සේ වැඩ වසත්දීම චෛත්‍ය කළ හැකිද?
බුදු හිමියන් :
ශාරීරික චෛත්‍ය කළ හැක්කේ බුදුන් පිරිනිවි පසුය. ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව, සිතට බුදුන් ලංවන චෛත්‍යය උද්දේසික වේ.. බුදුන් විසින් පරිභෝග කළ බෝධීන් වහන්සේ කවරදාටත් චෛත්‍යයක් ම වේ..

=============================================================
මගේ අදහස
=============================================================
මෙහි පාරිභෝගික චෛත්‍යය.. ඉතා පැහැදිලි ව බෝධීන් වහන්සේ ලෙස දක්වා ඇත.. එහෙත් බුදුන් වහන්සේ පරිභෝග කළ වෙනත් දෑ ද පාරිභෝගික චෛත්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් එවන් දෑ දුලබ වීම නිසා බෝධි වෘක්ෂය එහි පෙරමුණ ගෙන ඇති බැවු පෙනෙයි..

බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථූප ආදිය ශාරීරික චෛත්‍යය ලෙස දැක්වේ..
ඉතා පැහැදිලි ව ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව බුදුන් සිහිවන, සිතට බුදුන් වහන්සේ ගැන ගෞරවය එක්කරන යම් වස්තුවක් වේනම් එය උද්දේසිකය ලෙස දක්වා ඇති බැවු පෙනේ..  ශාරීරික ධාතු වලින් තොර බුද්ධ ප්‍රතිමා, ස්ථූප ආදිය මේ අනුව උද්දේසික චෛත්‍යය ලෙස හඳුනා ගත හැක.. එහෙත් අද බොහෝ දෙනා උද්දේසික චෛත්‍ය හරි හැටි හඳුනාගෙන නැති බැවු පෙනේ..

2012/04/05

සතර සතිපට්ඨානය යනු කුමක්ද?

නිදුක් බ්ලොග් අඩවියේ මං ආ ගමනේ අරමුණ එහෙමම තිබුණත් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්ට ඕන කියලා මං හිතුවා.. මිං ඉදිරියට මෙතැන ලියැවෙන්නේ උපුටා ගැනීම් හා ඒ සම්බන්ධ මගේ අදහස් විතරයි.. ඒ හැරෙන්නට කලිං ලිවුවා වගේ ධර්ම කරුණු ලියන්නට වත්, මං දන්න විදිහට මේ ගැට ලිහන්නටවත් මං උත්සාහ කරන්නේ නෑ.. ලිහා ගන්න එක ඔයාලගේ වැඩක්.. මං කරන්නේ උපුටා දැක්වීම.. ! ඒ සමඟම මගේ අදහසත් ලියා දක්වන්නට මං හිතාගෙන ඉන්නවා..

මං මෙහෙම කරන්ට තීරණය කළේ.. ගොඩාක් දුරට හිතලා.. මොකද මේ ධර්මය අපි එකිනෙකාට වැටහෙන්නේ එක එක විදිහට.. ඉතිං මං මෙතන ගොඩනගන්න හදපු ධර්ම සාකඡ්ඡාව සිද්ධ වෙන්නේත් නැතිනම්, මං කියන දේ හරිද, වැරදිද කියලා අදහසක් මේක බලන කාටවත් ගන්න බැරි වෙනවා.. එතකොට මං කියලා තියෙන්නේ වැරදි දෙයක් නම්, මං "නිදුක්" පාඨකයන්ට කරන්නේ අසාධාරණයක්.. අඩුම ගානේ 5 දෙනෙක්වත් මේකේ මං දාන ලිපියක් කියවනවා ඇතියි කියලා මට හිතෙනවා..

මෙන්න මගේ පළමු උපුටනය..

"සති පට්ඨාන සූත්‍රය බොහෝ දෙනෙක් කියවලා ඇති. දැන ගෙන ඇති. එහි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතර සති පට්ඨානයක් දේශනා කරනවා. එහි තුන්වෙනුවට පැහැදිලි කරන්නා වූ අනුපස්සනාව තමයි චිත්තානුපස්සනාව.


        අනුපස්සනාව කියලා කියන්නේ අනුව දැකීමයි. "පස්සති" කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනවා කියන එකයි. "අනුපස්සති" කියලා කියන්නේ අනුව දකිනවා, විමසා බලනවා, නිවැරදිව දකිනවා. ඒකට තමයි අනුපස්සනාව කියලා කියන්නේ. එතකොට සිත අනුව ක්‍රමානුකූලව දැක ගන්න එකට, විමසා බලන එකට, වටහා ගන්න එකට කියනවා චිත්තානුපස්සනා කියලා. සතිපට්ඨානයයි කියලා තියෙන තැන "සති" කියලා කියන්නේ සිහියට, සිහි කල්පනාව, "පට්ඨාන" කියලා කියන්නේ පිහිටුවීමයි. මනාව සිහිය පිහිටුවාගෙන මේ අනුපස්සනාව කළයුතු නිසා ඒකට කියනවා සතිපට්ඨානයයි කියලා. සෑම අනුපස්සනාවක්ම සතිපට්ඨානයෙන් යුක්ත විය යුතුයි. එසේ නොවනවානම් එය සැබෑ අනුපස්සනාවක් වෙන්නේ නෑ. යමක් අනුව නිවැරදිව දකින්නට නම්, විමසා බලන්නට නම් ඒ පිළිබඳව අනිවාර්‍යයෙන්ම සිහිය පිහිටුවා ගත යුතුයි.

       ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කළා කවර කරුණක් හෝ මුල් කරගෙන, කවර කර්මස්ථානයක් හෝ මුල් කරගෙන සිහිය පිහිටුවනවා නම් නැවත නැවත ඒ අනුව විමසනවානම් බලනවානම් එය සතිපට්ඨානයයි. එය විදර්ශනාවයි. එය අනුපස්සනාවයි. මේ අනුපස්සනාව, මේ විදර්ශනාව බුදු හාමුදුරුවෝ ක්‍රම හතරකට, එහෙම නැත්නම් මාතෘකා හතරක් යටතේ ගොනු කරලා දක්වපු එක් අවස්ථාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රය"

මේ උපුටා ගැනීම පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි විසින් උන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරින් රචිත "සිතේ සැබෑව" නම් පොත් පිංචෙනි.

මගේ අදහස:
අපේ හාමුදුරුවෝ කාටත් තේරෙන්න ඉතා සරලව මේ කරුණු ටික කියලා තියෙනවා.. ආයේ ඒකේ ලිහන්න දෙයක් නෑ.. ඒත් බුදු දහම කියන්නේ කොයි තරම් සරල සත්‍යය ගැබ් වුණු ගැඹුරු ධර්මයක් ද කියලා අවබෝධ කරගන්න මේ වචන ටික ප්‍රමාණවත් කියලා මට හිතෙනවා.. ඒ විශ්ලේෂනය අති විශිෂ්ඨයි නොවේද? සිතුවිලි උත්පාදනය විය හැකි ප්‍රභවයන් ටික පෙළගස්වලා තියෙන අපූරුව..
1. කය එනම් පංච ඉන්ද්‍රියයන් ගේ හැසිරීම මුල් කරගෙන
2. සිතෙහි හැසිරීම මුල් කරගෙන
3. නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම ආදී ධර්මයන් මුල් කරගෙන
4. සුඛ, දුක්ඛ හා උපේක්ඛා ආදී වේදනා මුල් කරගෙන

සිතුවිලි ඇති වෙන අයුරු අනුව මෙනෙහි කිරීම සතිපට්ඨානය කියලයි මට හිතෙන්නේ.. මේ 3,4 කාරණා ආයෙමත් 1,2 කාරණා වලට සම්බන්ධයි නේද?
නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම හෝ ප්‍රඥා ආදී ගුණ ධර්ම ඇති වෙන්නේ හිතේ මයි.. ඒ කියන්නේ 2 වැනි කාරණේ මයි..
එහෙනම් විශ්ලේෂණයේ දී එලෙස වෙන් කළේ ඇයි.. ?
සිතෙහි ඇති වෙන අනෙකුත් සිතිවිල් වලට වඩා යම් විශේෂත්වයක්, වැදගත් කමක් මේ ධර්ම වල තිබෙන නිසා විය යුතුයි..
වේදනාවක් නම් එය හට ගන්නේ කය නැතිනම් හිත මුල් කරගෙන.. කය හා සිත ආශ්‍රිතව ගොඩ නැගෙන අනෙකුත් සිතුවිලි වලින් වේදනා වෙන් කර දක්වන්න වුවමනාවක් ඇති.. මේ විශ්ලේශනය සරල එහෙත් ගැඹුරු විශ්ලේෂනයක් කිවුවේ ඒ නිසයි....

ප.ලි.
සිතේ සැබෑව කියන පොත ගැන මෙතන ත් තියෙනවා..

2012/03/23

කර්මය හා කරුමය..


අප යම් දෙයක් කරන විට එය නොසිතූ ලෙස සිදු වුවහොත් (සාර්ථක හෝ අසාර්ථක) එය කිසියම් ගුප්ත දෙයක්  හැටියට සලකන්නට පුරුදුව සිටිමු.. 

විශේෂයෙන් යමක් එක දිගට අසාර්ථක වන විට "මේක නම් පුදුම කරුමයක්.." කියලා අපට කියවෙනවා නේද?  
ඇතැම් බොහෝ සේ දුක් විඳින අය ද, "මේක ඉතිං අපේ කරුමේ" කියා හිත හදා ගනී.. මේ කරුමය කියන්නේ දුකට ම හේතු වන දෙයක් ද? 

මට තේරෙන තරමට නම්.. කර්මය හා කරුමය කියන්නේ එකක්මය. ඒ අනුව අතීතයේ කරන ලද කර්ම වලට අනුරූපිව වත්මනෙහි අප ගේ ජීවිත වලට යම් බලපෑමක් ඇත. එනම් කුසල කර්මයකට අනුරූපීව යහපත් ප්‍රථිඵලයක් ද, අකුසල කර්මයකට අනුරූපීව අයහපත් ප්‍රථිඵලයක් ද ලැබිය හැක.. 

කර්මයක් විපාක දෙන කාලය අනුව මෙසේ බෙදෙයි..

1. දිට්ඨ දම්ම වේදනීය කර්ම :

එකී කර්මය සිදු කළ ආත්ම භවයේ දීම විපාක දේ

2. උපපඡ්ඡවේදනීය කර්ම : 

මරණින් මතු උපදින මුල් ආත්ම භවය තුළ දී විපාක දේ.

3. අපරාපරීය වේදනීය කර්ම : 

මරණින් මතු දෙවන ආත්මයේ පටන් ඕනෑම ආත්ම භවයක විපාක දේ..

4. අහෝසි කර්ම: 


මෙකී කර්ම විපාක නොදී අහෝසි වී යයි.. 

මේ අනුව අප පිනක් හෝ පවක් කළ පමණින් එය විපාක දෙනවාම යැයි සිතීම හෝ විපාක නොදේ ම යැයි සිතීම වැරදිය. 

විපාකය මඟින් බලපෑමට ලක් වෙන ක්‍රියාව අනුව කර්මය මෙසේ බෙදයි..

1. ජනක කර්ම: 

සත්වයෙක් අලුත් ආත්ම භවයක උපත ලබද්දී ජනක කර්මය ක්‍රියාත්මක වෙනවා.. පෙර ආත්ම භවයකදී සිදුකළ ප්‍රබල,  කුසල කර්මයකට හෝ අකුසල කර්මයකට අනුරූපී ව මෙම ජනක කර්මය ඇති වෙනවා. පෙර භවයෙන් චුත වෙද්දී නැත්නම් මරණයට පත් වෙද්දී ඇති වුණු සිතුවිල්ල (චුති චිත්තය) ඒ පුද්ගලයා සතු ජනක කර්ම අතරින් ඊ ලඟ භවයට අදාල ජනක කර්මය තෝරා දෙන්ට සමත් වෙනවා... කර්ම නිමිත්ත කියලාත් මෙය හඳුන්වනවා.. 

2. උපස්ථම්භක කර්ම: 

කිසියම් ජනක කර්මයක් නිසා යම් ආත්ම භවයක උප්පත්තිය ලැබීමෙන් මතු එම දිවිය පවත්වාගෙන යන්ට මෙම කර්ම දායක වෙනවා..

3. උප පීඩක කර්ම : 

මෙම කර්ම මඟින් ප්‍රබල කර්මයන් දුබල කිරීමක් සිදු වෙනවා.. ප්‍රබල අකුසල කර්මයකට එදිරිව කුසල කර්ම ක්‍රියාත්මක වීමෙන් අකුසල කර්මයේ ප්‍රබලතාවය අඩු වෙනවා.. (බෝධි පූජා, සෙත් ශාන්ති වැනි සුළු පින්කම් මඟින් සිදු කරන්නේ මෙවැනි දෙයක්)  මෙය ප්‍රබල කුසලයකට එරෙහිව අකුසල කර්ම රැසක් කිරීමෙනුත් සිදු වෙනවා.. එනම් දිගින් දිගටම යම් අකුසලයක් කිරීම නිසා පල දෙන්නට තිබූ කුසලයක ප්‍රබලතාවය ගිලීහී යන්නට පුළුවන්..

4. උප ඝාතක කර්ම: 

මෙම කර්ම මඟින් සත්වයා ගේ ආත්ම භවය නිමා කරන්ට යෙදෙනවා.. එයට බලපාන කර්මය කුසල කර්මයක්ද, අකුසල කර්මයක් ද යන්න තීරණය වන්නේ ගෙවමින් සිටින භවයේ ස්වභාවය අනුවයි.. එනම් දුගතියක ඉපැදී සිටින විට ඉන් මිදීම සැපතක් වන නිසා එම කර්මය කුසල කර්මයක් වෙන්නම අවශ්‍යයි.. 

ඒ වගේම විපාක දීමේ ප්‍රමුඛතාවය අනුවත් කර්ම ප්‍රභේද කරලා තියෙනවා.. 

1. ගරුක කර්ම: 

 ආනන්තරීය පාප කර්ම හා වැඩූ ධ්‍යාන ගරුක කර්ම ලෙස සලකනවා.. මේවා ප්‍රබලත්වයෙන් ඉතාම ඉහලයි.. 

2. ආසන්න කර්ම :

මරණාසන්න මොහොතේදී සිහි කළ කර්ම  මෙසේ හඳුන්වනවා.. ගරු කර්ම ලඟට ප්‍රමුඛ තාව හිමි වන්නේ ආසන්න කර්ම වලටයි..

3. ආචීර්ණක කර්ම:

දින චර්‍යාවේ පුරුද්දක් ලෙස හෝ ආචාර ධර්මයක් ලෙස පුරුදු කළ කර්ම මේ ඝණයට වැටෙනවා.. ඊලඟ ප්‍රමුඛතාවය හිමි වෙන්නේ මෙම කර්ම වලටයි..

4. කෘතවාත් කර්ම: 

ඉඳ හිට කරපු දුබල කර්ම මේ ඝණයට වැටෙනවා.. අඩුම ප්‍රමුඛතාව හිමි වෙන්නේ මේ කර්ම වලටයි..

මේ ඔක්කොටමත් පස්සෙ විපාකයට අදාල සත්වයා ජීවත් වෙන තත්වය (භවය : දෙවු, මිනිස්, ප්‍රේත..) අනුවත්  මේ කර්ම ප්‍රභේද කරලා තියෙනවා... 

අකුසල කර්ම : 

කාම ලෝක, රූප ලෝක වල දී විපාක ලබා දෙනවා වගේම සතර අපායේ ඉපදෙන්ටත් හේතු වෙනවා.. 

කාමාවචර කුසල කර්ම: 

කාම ලෝක, රූප ලෝක වල දී විපාක ලබා දෙනවා වගේම දෙව් ලොව හෝ මිනිස් ලොව ඉපදෙන්ටත් හේතු වෙනවා..

රූපාවචර කුසල කර්ම : 

රූප ලෝක වල විපාක ලබා දෙන අතර එම ලෝක වල ඉපදෙන්ටත් හේතු වෙනවා..

අරූපාවචර කුසල කර්ම : 

අරූප ලෝක වල විපාක ලබා දෙන අතර එම ලෝක වල ඉපදෙන්ටත් හේතු වෙනවා.

මගේ අදහස:

ඉහත සංක්ෂිප්ත කරන ලද දීර්ඝ විස්තරයෙන් පැහැදිලි වන කරණා අතර, 

1. සියල්ල කර්මය මත රඳා නොපවතින බව
2. ඇතැම් කර්ම උත්සාහයෙන් වෙනස් කළ හැකි බව
3. පුණ්‍ය ක්‍රියා නිතර නිතර කිරීමෙන් හා නිතර මෙනෙහි කිරීමෙන් පුණ්‍ය ශක්තිය වර්ධනය වී ප්‍රබල පුණ්‍ය කර්මයක් නිර්මාණය වන බව
4. එසේ නිතර පුණ්‍ය ක්‍රියා කිරීමට යොමු වීමෙන් පෙර කළ අකුසල කර්මයන් වුවද යටපත් කිරීමට හෝ එහි බලය අවම කිරීමට හැකි බව
5. අනලස්ව කුසලයෙහිම යෙදිය යුතු බව

ආදී කරුණු බොහොමයක් වේ.. මේ කාරණා ඔබේ සිතටත් දැනේවායි පතමි..!





2012/02/08

පිං දීලා (මළ ගිය ඇත්තෝ) නිවන් දැක්කවීම.

අද කාලයේ පින හා කුසල දෙවර්ගයකැයි කියයි.. එහෙත් මට නම් මේ දෙක එකක් ම යැයි හැඟේ... 

යම් ක්‍රියාවක්, කථාවක් හෝ සිතුවිල්ලක් මුල් කොට ගෙන සිත පිරිසිඳු වේද, එය පින ලෙස හැඳින්විය හැක. මේ මේ දේ කිරීමෙන්, මේ මේ දේ කථා කිරීමෙන්, මේ මේ දේ සිතීමෙන් පින් සිදු වන බව එනයින් අප නිගමනයකට පැමිණ ඇත්තෙමු.  මේ වන තෙක් පිනත් කුසලයත් අතර වෙනසක් නොවේ.. 

දැන් මේ උපයාගත් පින ඇසුරින් ගනුදෙනුවක් කිරීමට අපි සූදානම් වෙමු.. එනම් සිත පිරිසිඳු කරමින් උපයාගත් පින, කෙළෙස් එක් කරමින් වියදම් කරන්නට සූදානම් වෙමු. 

1. මේ භවයේ සැප පහසුව පතමින් කාම තෘෂ්ණාව වඩමු.
2. මතු භවයේ දෙවු මිනිස් සැප පතමින් භව තෘෂ්ණාව වඩමු.
3. තම මළගිය ඥාතීන් හට පින් දෙමින් ඔවුන් කෙරේ වූ ඇල්මම වඩමු

මේ ආදී නොයෙක් අයුරින් මේ පින් වියදම් කරන්නට යන්නේ කෙළෙස් වැඩෙන අයුරින් වීම අභාග්‍යයකි. 

කෙනෙකු මිය ගිය පසු "නිවන් සැප ලැබේවා" යැයි බැනර් දමමු. නොයෙකුත් පුණ්‍ය කර්ම කරමින් පිං පෙත් පමුණුවමු. එහෙත් ජීවත්ව සිටියදී ලබාගත් අවබෝධයක් මිසක මියගිය පසු නම් නිර්වාණාවබෝධය ලැබෙන්නේ නැත. 

පිං පැමිණවීමේ ක්‍රමවේදයේ වැදගත්කමක් නැතිද?
මළගිය තැනැත්තා, මරණින් මතු උපදින්නේ දෙවියන් අතර හෝ ප්‍රේතයන් අතර නම්, ඒ තැනැත්තා පිං බලාපොරොත්තුවෙන් සිටියහොත් පිං අනුමෝදන් විය හැක. එසේ නැතිව මිනිස්, තිරිසන්, අපාගත ආදී අනෙකුත් ලෝක වල උපන්නේ නම් පිං අනුමෝදන් විය නොහැක.  වැදගත් ම කරුණ නම්, අප කළ යුත්තේ අපගේ ඥාතියෙක් හෝ පිං බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙක් මේ පිං අනුමෝදන්ව සැපයට පත් වේවා කියා පතමින් සිත පහන් කර ගැනීමයි. වැඩි දෙනෙකුට බෙදුවාය කියා පිනෙහි බලය හීන වී යන්නේ නැත.
ජීවත්ව සිටින්නවුන්ට පිං පැමිණවීම අරුත් සුන් වේද?
මෙය එක අතකට අරුත් සුන් දෙයකැයි සිතේ. එහෙත් කෘතවේදී බව පළ කිරීම ඉතා හොඳ ගුණයකි. පිං දුන්නත් නැතත්, පුණ්‍ය ක්‍රියාවක් සිදු කළ සැණින් පිනක් සිදු වේ.. අප එය අනුමෝදන් වන්නේ කෙසේ දැයි අප තෝරා ගත යුතුය. කෙළෙස් සහිත ව ද? කෙළෙස් රහිත ව ද? එය අපගේ වැටහීමේ තරම අනුවය. කෙළෙස් රහිත නම් ඒ කුසලය යැයි වහරති. කෙළෙස් සහිත නම් එය පින යැයි වහරති. මේ දෙක දෙකක් යැයි මට නම් තවම නොසිතේ..

ප. ලි.
හැමදාම වගේ මං ලිවුවේ බුදු දහම ගැන මට හිතෙන දේවල්. නිවන මරණයෙන් මතු ලබන දෙයක් වගේ හැඟීමක් සමාජය තුළ ඇතිවෙලා තියෙනවා කියලා හිතුණ නිසාත්, පින වැරදි කොණින් අල්ලාගෙන ඉන්නවාය කියලා හිතුණ නිසාත් තමයි මේ ටික ලිවුවේ..  සංවාදයට විවෘතයි..






2012/01/25

ද්වේශ නොකරම බැරිද?

මීට පෙර කතා කළ ස්වරූපයේ ම කාරණාවක් ගැන අදත් කතා කරන්නට සිතුවෙමි..

සතර අගති වලින් එකක් ලෙසත් අකුසල මූල වලින් එකක් ලෙසත් හැඳින්වෙන ද්වේශය අප සිතනවාට වඩා පරාසයක විහිදී ඇතැයි මට හැඟේ.. යම් දෙයකට, කෙනෙකුට හෝ ක්‍රියාවකට දක්වන විරුද්ධත්වයේ දී  ද්වේශය ඇති විය හැක.. ද්වේශයට විවිධ වෙස් ඇත.

1. පළි ගැනීමේ ස්වරූපය හෝ රළු ස්වරූපය.
යම් දෙයකට තමාගේ ඇති විරුද්ධත්වය නිසා ක්‍රෝධයෙන් ගහ මරා ගන්නට, බැණ ගන්නට යති.
2. බිය
යම් දෙයක් කෙරෙහි දක්වන බියක් ලෙස ද්වේශය පැන නඟින අවස්ථා ඇත. මේ උදාහරණය සලකමු.. අප වාහනයක් පදවාගෙන යන විට තනි ඉර කපන එක වරදක් බැවු අපි දනිමු. එහෙත් අපි අවශ්‍යතාවයක් වුවහොත් එම තනි ඉර කපා ගෙන යමු. මේ අවස්ථාවක පොලීසියෙන් සිටියොත් බියක් ඇති වේ.. එහෙත් මෙය බියක් නොව පොලිස් නිලදරුවා ඉදිරියේ දඩ කෑමට ඇති විරුද්ධත්වය බව විමසා බැලුවොත් වැටහේ.. මෙලෙස බොහෝ විට බිය යන ප්‍රතිරූපකයා ලෙසින් ද්වේශය ඇති වේ.

3. ශෝකය
හොඳ හැටි ආයුෂ විඳ මිය ගිය මවක් සලකන්න. ඇය ජීවත්ව සිටි කාලයේ වත් හරියට නොසැලකූ දූ දරුවන් ඇගේ අවසන් කටයුතු දා මහ හඬින් හඬමින් ශෝක කරයි. මෙය සැබෑවටම ශෝකය ද?  මව ජීවත්ව සිටි කාලයේ මවට සලකන්නට නොහැකි වීම ගැන තමා තුළ ම මතුවන විරුද්ධත්වය එළියට පැනීමක් ද?  මළ ගෙයකදී, යථාර්තය තේරුම් ගෙන සංවේගය ඉවසීම  නොකොට දිගින් දිගට හඬා වැටෙන්නේ තමා කෙරෙහි හෝ එම වෙන්වීම කෙරෙහි ඇති විරුද්ධත්වය නිසාමය.

මේ ආදී වශයෙන් ගත් විට, මෛත්‍රිය, ලැජ්ජාව, ගර්හාව, අල්පේඡ්ඡතාවය ආදී බොහෝ ප්‍රතිරූපක ධර්ම වෙසින් ද්වේශය මතුව එන අයුරු විමර්ශනය කළ හැක.

ද්වේශයෙන් මිදීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව දැන් පැහැදිලියි නේද?

ප.ලි
බොහෝ විට ද්වේශය ලෙස සලකන්නේ මා අංක 1න් කතා කළ කාරණයයි. එහෙත් ද්වේශයට එයිට වඩා පුළුල් අරුතක් ඇති බව පෙන්වීමටයි මා උත්සාහ කළේ..

හැමදාම වගේ සංවාදයට විවෘතයි..

2012/01/11

මත් ද්‍රව්‍ය

මත් ද්‍රව්‍ය ගැන මගේ විග්‍රහයත් මීට කලිං කාමයේ වරදවා හැසිරීම ගැන තිබුණා වගේ ටිකක් වෙනස් විග්‍රහයක්.

පොඩි කාලෙ මං ඔය මත්ද්‍රව්‍ය කියලා හිතං හිටියේ සිගරැට් සහ අරක්කු කියන දෙවර්ගය සහ ඒවයේ ආදේශක වන බීඩි, සුරුට්ටු සහ රා වගේ ඒවා විතරයි.. ඒත් පහු කාලීනව මේ ලිස්ට් එකේ තවත් ආදේශක වගේම වෙනත් විදිහේ මත් ද්‍රව්‍යත් තියෙන බව තේරුණා..

දුම ඉරීමෙන් : සිගරැට්, බීඩි, සුරුට්ටු වලට අමතරව ගංජා මල්, හෙරෝයින් වගේ මත් ද්‍රව්‍යත්...
මත් පැන් ලෙස : අරක්කු, බියර්, රා, වයින්, විස්කි, බ්‍රැන්ඩි, කසිප්පු වගේ මත්ද්‍රව්‍යත්
කෑමෙන් : බුලත් විට (දුංකොල), මදන මෝදකය වගේ මත්ද්‍රව්‍යත්තියෙන බව මං ලොකු වෙනකොට දැන ගත්තා..

ඒත් මෑතකදී මට තේරුණා අපි මත් වෙන්නේ මේවැයින් විතරක් නෙවෙයි කියලා.. අපේ හිත පසිඳුරන් හරහා විවිධ දේවල් වලින් මත් වෙනවා.. මේ වෙලාවට අපට පියවි සිහිය නෑ.. නැත්නම් පියවි සිහිය අඩුයි. සමහර විට ක්‍රීඩාවෙන්, ඉගෙන ගැනීමෙන්, සිංදුවකින් වගේ හොඳයැයි සැලකෙන දෙයකින් වුණත් මත් වෙන්න පුළුවන්.. අපි උත්සාහ කරන්න ඕන මේ මත් වීම අවම කරන්න..

සමහරු ලස්සන ගෑණු ළමයෙක් දැක්කාම මත් වෙනවා.. ඒ ආශාවෙන්.. රාගයෙන්.. තවත් සමහරු මුදල් නිසා මත් වෙනවා... ඒ තණ්හාවෙන්..

මේ වගේ හොඳට මෙනෙහි කළොත් අපේ මත් වීම් ගැන හිතාගන්න පුළුවන්.. ඉතිං එතකොට මත්ද්‍රව්‍ය වෙන්නේ මොනවද කියලත් හිතාගත්ත හැකි නොවැ..

ප.ලි
මේකත් මගේ ම අදහසක්. ඒ හිංදා පරහක් එහෙම තියේනං කියන්ට හොඳේ..

මේ ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලත් කියලා යන්න පුළුවන් නම් ස්තුතිවන්ත වෙනවා..

2011/12/09

කාමයේ වරදවා හැසිරීම..

මේක හරි කුතුහලය දනවන වචන පෙළක් වෙලා තිබුණා කාලයක්.. පස්සේ ඔය වචන ටික නුරුස්සන ගතියක් ඇති කරන වචන ටිකක් බවට පත් වුණා.. දැං ආයෙමත් පොඩි කුතුහලයක් ඇති වෙලා...

පුංචිම කාලෙ තේරුණේ නෑ මොකක්ද ඔය හරුපෙ කියලා.. කවුරුත් කියලා දුන්නෙත් නෑ නොවැ.

ටිකක් ලොකු වෙනකොට කට්ටිය කිවුවා තමන් බැඳපු කෙනාත් එක්ක හැර වෙනත් අයත් එක්ක ඔය ඕනන්නෙ නැති ඒවා කරණ එකටලු එහෙම කියන්නේ කියලා..



ඊටත් පස්සේ ඉගෙන ගත්තා අලුත් වචන ටිකක්..

ඒ තමයි "පරදාර සේවනය" . ඉතිං කලිං දන්න තරමයි මේ වචනේ විග්‍රහයයි එකතු කරලා බැලුවහම හිතුණා පරදාර සේවනය තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ කියලා.. ඉතිං අපි ඕවට එකෙන්ම විරුද්ධයි නොවැ.. ඉතිං කාමයේ වරදවා හැසිරෙනවා කිවුවහම කොයි තරම් නරක වැඩක්ද කියලා නුරුස්සන ගතියක් ඇති වුණා..

තව තව දේවල් ඔලුවට වැටෙනකොට මට ආයෙමත් ඇති වුණේ කුතුහලයක්.. කාමය කියලා කියන්නේ ලිංගික එක්වීමක් නෙවෙයි කියලා මට වැටහුණා..

කාම වස්තූන් (කාමුක වස්තූන් නෙවෙයි) එක්ක තියෙන ගනු දෙනු නැත්නම් හැසිරීම් තමයි ඔය කාමයේ හැසිරීම කියන්නේ.. ඉතිං ඔය කාම වස්තූන් එක්ක වැරදි හැසිරීම් තියාගන්න එක තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ.. ඉතිං අපි කොයි තරං කාමයේ වැරදියට හැසිරිලා තියෙනවද කියලා දැන් මට හිතෙනවා.. තාමත් දවසකට කී පාරක් කාමයේ වරදවා හැසිරෙනවාද? (දැං මූ මෙතන බණ කියන්න ආවට මහ අපතයෙක් කියලා මට බණින්ට එහෙම ලෑස්ති වෙන්ට එපා ඕං..)

කාම වස්තූන් කියන්නේ මොනවාද?

කම් සැප විඳිම සඳහා අපව පොළඹවන දෑ.. මං පොඩි ලිස්ට් එකක් කියන්නද?
1. අපේ දෙමවුපියෝ

2. අපේ ළමයි
3. මගේ බිරිඳ ඇතුළු  මං ආදරය කරණ හැමෝම
4. මගේ ඇඳුම් පැළැඳුම්
5. අපේ ගෙදර, වාහන සහ ගෙදර බඩු මුට්ටු.

තව කොයිතරම් දේ තියෙනවද?


කාම භෝගී ගිහියෝ කියලා අපිව හඳුන්වන්නේ අපි කාම වස්තූන් පරිහරණය කරන්න මහත් කැමැත්තක් ඇල්මක් ඇති උදවිය නිසා..

මේ කාම වස්තූන් වුණත් ගානට මිම්මට හා නිසි පරිදි පරිහරණය කළොත් ඕක වරදවා හැසිරීමක් වෙන්නේ නෑ... ඒත් අපි දෙමවුපියන්ට කොයි තරම් බැඳිලා ඉන්නවද.. ? එහෙම බැඳෙන්න බැඳෙන්න වැරදි පැත්තටයි යන්නේ.. අපි දෙමවුපියන්ට විරුද්ධව හෝ වෛරීව කටයුතු කරනවාද? එහෙම කරනකොටත් වැරදි පැත්තටයි යන්නේ... අපි දෙවැනි කාරනේ වැරැද්දක් ලෙස දැක්කත් පළමු එක හොඳයි කියලනේ දකින්නේ.. අපි දෙමවුපියන්ට අපේ යුතුකම් හා වගකීම් ටික ඉටු කරන්න ඕන කැපවීමෙන් හැම විටම.. එහෙම නැතුව මළා ට පස්සේ මහ හයියෙන් අඬලා මොටෝ.. සංවේදී කමට ටිකක් හැඬෙන එක නෙවෙයි මං කියන්නේ.. ලෝකෙට පේන්න අඬන එක..

මේ කාරණේ මෙනෙහි කළොත් අපිට අපේ ජීවිතේ පුදුමාකාර වෙනසක් කරන්න පුළුවන්.. එකෙන්ම..!
මොකද කියන්නේ.. කාමයේ වරදවා නොහැසිරෙන්න උත්සාහ කරමුද? මෙහෙම බැලුවොත් වැඩිපුරම කඩන සිල්පදේ මේකයි..


ප.ලි



බ්‍රහ්මචාරීව වෙසෙන එක මේ සිල්පදේ රකින එකත් එක්ක බැලුවහම සෑහෙන්න වෙනස් දෙයක්... ඒක  වෙනම කතා කරමු.

මේ තනිකර මගේ අදහස්.. මං කොහේ වත් ධර්ම දේශනාවක අහලා නෑ මෙහෙම..

ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියන එක නම් පුදුමාකාර විදිහට වැදගත්..

2011/10/27

සම්මා සතිය සහ යෝනිසෝ මනසිකාරය...

සම්මා සතිය කියන්නේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ තියෙන එක පියවරක්.. යහපත් සිහිය පිහිටුවා ගැනීම කියලයි අපට කියා දුන්නේ.. යහපත් සිහිය කිවුවහම මං හිතුවේ... කරන්න තියෙන වැඩ ටික අමතක කරන්නෙ පටලවා ගන්නේ නැතිව ඉන්න එක කියලා.. ඒත්.. සම්මා සතිය කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගියපු එකක් කියලා දැන් තේරෙනවා.. 


ඒ කියන්නේ නිවන් දැකීමට සුදුසු වූ දිට්ඨියක් පිහිටුවාගෙන, ඊට සුදුසු වූ සංකල්ප වඩා, වචන කතා කර, කර්මාන්ත කරගෙන,  උත්සාහයන් දරා,  ඇවතුම් පැවතුම් ඇතුව හිඳිමෙන් පසු මේ කියපු කාරණා කෙරෙහි තම සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම සම්මා සතියයි කියලා තමයි මට හිතෙන්නේ..


දැං අපේ සමහර අයට මතකයි නොවැ.. ජෝතිපාල මහත්තයා පළවෙනි සිංදුව කියපු දවසේ ඇඳගෙන ආ ඇඳුම.. අවශ්‍යනම් වර්ගෙත් එක්ක.. ඒක සම්මා සතිය නෙවෙයි..


අපි හිතමු සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජා කරපු විදිහ අපට හොඳට මතකයි කියලා... ඒකත් සම්මා සතිය නෙවෙයි.. 


අපි හිතමු, අපි ඔපීසියට යනකොට වරද්දන්නේ නැතිව අපේ බෑග් එකට අවශ්‍ය කළමණා ටික දාගෙන යනවා කියලා... ඒකත් සම්මා සතිය නෙවෙයි..

එහෙනං සම්මා සතිය කියන්නේ නිවන කෙරෙහි යොමු වූ දෘෂ්ඨියෙන් යුතුව සාදා ගත් සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති කරගන්නා සිහියයි...



යෝනිසෝ මනසිකාරය..

එළඹ සිටි සිහිය, අවධි සිහිය යනු යෝනිසෝ මනසිකාරය යැයි වරක් මගේ මිතුරෙක් මට කීයේය.. එහෙත් යෝනිසෝ මනසිකාරය යනු එය නොවේ...


සම්මා දිට්ඨියට උපකාරී වන චින්තනය, නැත්නම් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි... අප මේ මේ කාරණා දෙස බැලිය යුත්තේ මේ ලෙසින්ය යනුවෙන් කෙලෙස් ඇති නොවන ලෙස මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය යැයි මට සිතේ.. 


යෝනිසෝ මනසිකාරය සම්මා දිට්ඨියට අත්‍යවශ්‍යය.. එනම් අරි අටැඟි මගේ ගමන් ගන්නට නම් යෝනිසෝ මනසිකාරය පුරුදු කළ යුතුමය...




පසුව ලියන වග නම්..

මා මේ කරණුයේ මට ඇති අවබෝධයේ තරම අනුව මගේ විග්‍රහයයි.. සංවාදයට විවෘතයි...


2011/09/28

තුන්තරා බෝධිය

මේක අපේ බොහෝ දෙනා දන්න වචනයක්. එහි තේරුමත් බොහෝ දෙනෙක් දන්නවා. ඒත් මං මගේ විදිහටත් කියන්නම්කෝ...


අපිට නිවන් දකින්ට ඕන වුණාට එහෙම හිතූ පමණින් නිවන් දකින්ට බෑ නොවැ. ඒකට ඉතිං දාන, ශීල, භාවනා ආදී පිංකම් ඇසුරින් පාරමිතා  පුරලා හිත පහදවාගෙන බොහොම වීරියකින්, සංයමයකින් වැඩ කටයුතු කරන්ට එපායැ. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී විදිහට දස පාරමිතා කොටස් තිහකට වෙන්වෙන බව කියවෙනවා. එයට අමතරව අපි පුරලා තියෙන පෙරුමන් අනුවත්, නිවන් අවබෝධ කරණ කාලය අනුවත් අපි හිතන පතන විදිහ අනුවත් තවත් බොහෝ කරුණු අනුවත් අපි නිවන් අවබෝධය ලබන විදිහ තීරණය වෙනවා. 


        1. බුදු
        2. පසේ බුදු
        3. මහ රහත් 


කියලා කියන්නේ මේ අවස්ථා තුන කියලා අපි කවුරුත් දන්නවා නොවැ. ඒත් ඉතිං පොඩ්ඩක් විස්තර කරණවා නං මෙන්න මෙහෙමයි.


බුදු කියලා හැඳින්වූවේ ලොව්තුරා බුද්ධත්වය. ඒක කොයි තරම් උසස් තත්වයක් ද කියලා අමුතුවෙන් කියන්ට ඕන නෑ නොවැ. ඒත් මේ තත්වය ලබාගෙන නිවන් අවබෝධ කරන්ට කොයි තරම් ඉවසීමක්, වීර්‍යයක්, පිළිවෙත් පිරීමක් තියෙන්ට ඕනද කියලා අපේ බුදු හාමුදුරුවෝ පෙරුම් පුරපු කාලයෙන්ම හිතා ගත්තහැකි නේ. බුදු කෙනෙක් ඉහත කියූ පාරමිතා කොටස් 30 ම සම්පූර්ණ කළ යුතුයි. අපේ ගෞතම බුදු හාමුදුරුවෝ පාරමී පුරලා තියෙන්නේ කෙනෙකුට බුදු වෙන්ට  අවම වශයෙන් පෙරුම් පිරිය යුතු කාලයක්.  ඒ අපේ බුදු හාමුදුරුවෝ ප්‍රඥා අධික බුදුන් වහන්සේ නමක් හිංදා. තව ඉන්නවානේ ඔය වීර්‍ය අධික ආදී වශයෙන් එක එක දක්ෂතා ප්‍රමුඛ කරගෙන බුදු වෙන බුදු වරු. උන්වහන්සේලාට ඊටත් වැඩිය කාලයක් පෙරුම් පුරන්ට වෙන වෙලාවල් තියෙනවලු. බුදු වෙන එක මොන තරම් අමාරු දෙයක්ද කියලා  ඉතිං මොනවට කියනවාද?


පසේ බුද්ධත්වය ගැන ඉතිං අපි වැඩිය කරුණු අහලා නෑ නොවැ. ඒත් මෙන්න මේ ටික නං අහලා තියෙනවා. බුදු කෙනෙකුන්ට වගේම ගුරු උපදේශ රහිතව, ඒ කියන්නේ තමන්ගේම උත්සාහයෙන් මේ බෝධියට පත් වෙන්ට පුළුවං. ඒත් මේ පසේ බුදු වරුන් පසේ බුද්ධත්වයෙන් පසුව ජීවත් වන්නේ හුදකලාවමයි. පසේ බුද්ධත්වය ලබන්ටත් අර ඉස්සෙල්ලා කියපු පාරමී, උප පාරමී කියන පාරමිතා කොටස් විස්ස සම්පූර්ණ කරන්ටම වෙනවා. මේ පෙරුම් පිරිල්ලට ගතවන අවම කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් කියලයි කියන්නේ. 


මහ රහත් කියන්නේ ලොවුතුරා බුදුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට නිවන් අවබෝධය ලබා ගන්න උතුම් තත්වයක්. මේකත් ලේසි පහසු වැඩක් එහෙම නෙවෙයි. පාරමී කියන පාරමිතා අනු කොටස් දහය සම්පූර්ණ කිරීමෙන් මේ තත්වයට එන්න පුළුවන්. ඒත් ඒ සඳහා අවම වශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වත් ගත වෙනවලු.


ඉතිං කෙටි පාරවල් වලින් නිවන් අවබෝධය කරන්ට වෙහෙසෙන්නේ නැතිව දැහැමින් සෙමෙන් සිත පහදවා ගෙන කටයුතු කිරීමෙන් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්නට අපි ලෑස්ති වෙන්ට ඕනි. මේක දිගු කාලීන සැලැස්මක එක්තරා අදියරක් මිසක එක හීනයෙන් එළිවෙන රැයක් නොවන බව අපි තේරුම් ගන්ටම ඕනි...


අදහසක් ඇත්නම් කියලම යන්ට හොඳේ....